ආදර්ශ වීරයෙක්

ගිය සිකුරාදා හවස මම කෑම මේසේ ලඟ වාඩිවෙලා ලැප්ටොප් එකේ මොනවදෝ කරමින් හිටිය වෙලාවේ මගෙ පවුල තිලකා මට කතා කරා හදිස්සියෙන් වගේ. සාමාන්යෙන් අපි දෙන්නා ප්රවුර්ති බලන්නේ මේ වෙලාවට.

“අනේ මේ බලන්ටකෝ මේක? ඇඟ හිරිවැටෙනවා ඇහෙනකොටත්…”

“හ්ම්…? මොකද්ද?”

“අද දවල් නුවර වැව ලඟ… ඉස්කෝල ඇරෙනවෙලාවේ කවුද මිනිහෙක් මැශින් ගන් එකකින් වැවරවුමේ…”

මම ලැප්ටොප් එක අතෑරල ගියා ටෙලිවිශන් එක ලඟට.

“…දැන් පෙන්නුවා හිටපු කොල්ලෝ කෙල්ලෝ ගොඩ, බස් එක එනවා බලාගෙන… අර කවුදෝ බයිසිකලේක ඇවිත් මිනිහා හප්පලා වැවට දැම්මෙ නැත්නම් කීදෙනෙක්…”

තිලකා වෙවුලනවා. මම ගිහින් පවුල ලඟින් වාඩිවුනා.

“මොකද වුනේ තිලකා?”

“ඕන්න අහගන්ඩ… ඔය රිපෝටර් තමා කතාව පටන්ගත්තේ…”

“…පොලීසිය කියන අන්දමට සැක කරුවා අත් අඩංගුවට ගන්න හැකිවුනේ ඝට්ටනයේ වේගයට ඔහු වැවට විසි වීම නිසයි. එහිදී ඔහු අත තිබූ තුවක්කුව අතින් ගිලිහී වතුරට වැටුනා. බයිසිකලයේ ආ පුද්ගලයාගේ ක්ෂණික ක්රියාකිරිත්වය නොවෙන්න අද මෙතන අහිංසක පාසැල් සිසුන් විශාල සංඛ්යාවක ඝාතනයක් සිද්ධ වෙනවා නිසැකයි… මා සමග දැන් එක් වෙන්නේ මෙතන සිදුවූ දේ මුළ පටන් දුටු මිසිස් වීරසිංහ… ආයුබෝවන්… අපිට කියන්න පුළුවන්ද ඔබ තුමී දුටු දේ, දුටු විදිහටම…?

“මම… මම… බස් එක එනකං හිටියේ… මං දැක්කා මේ කළු ඇඳගත්ත මිනිහා එයාගෙ මල්ලෙන් තුවක්කුවක් එලියට ගන්නවා…”

“සමාවෙන්න… කියන්නප් පුළුවන්ද එයා ගැන විස්තරයක්?”

“කළු දිග කලිසමකුයි තද නිල් අත් දිග කමිසෙකුත් ඇඳගෙන, තොප්පියකුයි කළු කන්නාඩියි දාගෙන හිටියේ… මිනිහගෙ මල්ල දිගයි - අර ක්රිකට් ගහන අයගෙ බැට් එහෙම දාන මල්ලක් වගේ…”

“ඔවු …. ඊ ලඟට?’

“තුවක්කු ගැන මං දන්නෙ නෑ … නමුත් ඒක උස්සලා ගත්තේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න පැත්තට හරවලා - තිහක් හතලිහක් පොඩිවුන්… “

නෝනට කතා කරන්න අමාරුයි වගේ.

“ලොකු හුස්මක් ගන්න නෝනා… ඊට පස්සේ?”

“… බයිසිකලේක සද්දේ එක සැරේම වැඩිවුනා … කන පුපුරන තරමට… තුවක්කු කාරයා ඒ පැත්තට හැරෙනකොටම ඩෝං ගාලා හැප්පුනා… මිනිහයි, බයිසිකල් කාරයයි, බයිසිකලෙයි ඔක්කොම වැවේ… බුදු අම්මේ … බේරිච්ච බේරිල්ලක්!”

“ස්තුතියි. දැනට පැය තුනකට පෙර සිද්ධවූ මේ සිද්ධියෙන් පසු තුවක්කුව අයිතිකාරයා පොලිස් අත්ඩංගුවට ගත් අතර මෙහිදී අති දක්ෂලෙස බයිසිකලේ පදවා ජීවත, ළමා ජීවත, ගනනාවක් බේරගත් වීරයා පොලිසියට උදවු කිරීමට ස්වේච්චාවෙන් ඉදිරිපත්වී ඇත. මින් පසු මහනුවර පොලිසිය අසල සිට මේ විකාශනය ඔබ වෙත ගෙන ඒමට මෙන්න මගේ මිත්ර සනත්…”

තිලකා කදුළු පිරුනු ඇසින් මා දිහා බැළූ වහාම මම ඇගේ අත අල්ලා ගත්තා. අපේ දුව උපද්රවයක් නැතුව කොළඹ සිටියත් තිලකට අපෙ කෙල්ල සිහියට එන බව මම දන්නවා. ඒ හැර මගේ ගම මහනුවර වීමත් තව කාරණයක් වෙන්න පුළුවන්.

“ස්තුතියි සැම්සන්… තවම පොලිසියෙන් ප්රකාශයක් නිකුත්වී නෑ, අද සිද්ධවූ ත්රස්තවාදී ක්රියාව පිළිබඳව… දැනට ඇති ආරංචි අනුව දැන් ‘බයිසිකල් වීරයා’ යන නමින් හැඳින්වෙන්නේ ප්රසිද්ධ ඉඩම් හිමි වැවිලිකරු පරපුරකට අයත් තිස්ස පලාගොල්ල මහතා බව අපිට දැන් සහතික කරන්න පුළුවන්…”

“තිස්ස පලාගොල්ල? ටොයින්කා!”

“ඔයා දන්නවද මිනිහා?”

“දන්නවා? මගෙ බෙස්ට් ෆ්රෙන්ඩ් ඉස්කෝලේ - ගුඩ් මෑන්! අපි එකට හිටියේ හයේ ඉඳන් දිගටම - තිස්ස පලාගොල්ල! ටොයින්කා!”

මට තිලකට කියාදෙන්න වුනා තිස්ස පලාගොල්ල ගැන, ටීවී නිවලා.

“හරිම ජෙන්ට්ල් පොර. නිතරම පොලයිට් -කාට කතාකරත්. අර කතාවක් තියෙන්නේ රජ පෙළපත්වල අය ඕනම කෙනෙකුට හරියට කතා කරන්න දන්නවා කියලා? අපි කවුරු වුනත් එහෙම කෙනෙක් එක්ක කතා කරපුවම හිතෙනවා ‘මෙයා මං කියනදේ සැලකිල්ලෙන් අහගෙන ඉන්නවා - හිත සම්පූරණෙන් යොදලා… මෙතන සිය ගානකට කතාකරත්!’. තිස්සයත් එහෙමයි - රජ නොවුනට මං හිතන්නේ පරණ වලවුකාරයෝ - හොඳ එකා”

“මොකද්ද ඔයා එයාට ආයෙ කියපු නම?”

“හ්ම්? .ආ.. ටොයින්කා. ඕන සද්දයක් මිනිහට ‘ටොයින්ක් - ටොයින්ක් ගාලා වැඩේ වුනා’ වගේ”

……………………….

තිස්සයි මමයි ටවුමේ ඉස්කෝලෙට ආවේ එකම දවසේ. අපි දෙන්නම ගමේ ඉස්කෝල වලින් නුවරට ආවේ හයේ පංතියට. පංතියේ ලියනමේස/පුටු ළමයින්ගෙ නමේ පිළිවෙලට සකසා තිබුනු නිසා මම නිමල් පෙරේරා හැටියට වාඩිවුනේ තිස්ස පලාගොල්ල ලඟ. අපි පළමු දවසෙම යාළුවුනා. නගරෙට ආපු ‘ගොඩයෝ’ හැටියට අපිට තවත් බැඳීමක් තිබුනා. පිටින් ආ ළමයි වුනත් අපි දෙන්නට පංතියේ ඒ තරම් කරදරයක් තිබුනෙ නෑ. සහජ සීලාචාර හැසිරීමත් කඩවසම් පෙනුමත් නිසා කවුරුත් තිස්සට සමච්චල්කළේ නෑ. මම සමච්චලෙන් බේරුනේ කවුරුත් කියන ඕනම දෙයක් විහිළුවකට හරවා ගැනීමෙන්.

අපේ මිත්රත්වය පාසැල් දිවිය අවසන්වෙන තුරු පැවතුනා. තිස්ස පවුලේ ඉඩකඩම්/ව්යාපාර කළමනාව ඉගෙනගැනීමට එයාගෙ අප්පච්චිගෙ කන්තෝරුවේ වැඩටත් මම කාර්මික විද්යාලයටත් ගිය පසු අපි නැවත හමුවූයේ දෙතුන් සැරයක් පමණයි. අන්තිම වරට අපි හමුවුනේ දැනට අවුරුදු දහයකට විතර ඉස්සර. ඒත් අහම්බෙන්.

මම ඉඩම් ඔප්පුවක් ගැන බලන්න නුවර කච්චේරියට ගියේ සිකුරාදා දවසක. මගේ අදහස වුනේ කච්චේරි වැඩේ ඉවර කරලා ගමේ ගිහින් රැයක් අයියගෙ ගෙදර ඉඳලා යන්න. නුවරඑලියේ වැඩකරන මම දැන් නිතර ගමට එන්නේ නෑ; වැඩකට නුවර ආවොත් විතරයි. නමුත් වැඩේ කරගෙන ගේට්ටුව ලඟට එනවිට මම මූණටම මූණ හමුවුනේ කඩදාසි මිටියක් කිසිල්ලේ ගහගෙන ඇතුලට එන තිස්ස.

“අඩේ නිමල්! මොකද මෙහෙ? වැඩක්ද?”

“තිස්ස! මචං කොච්චර කාලෙකට පස්සෙද! …. මගෙ වැඩේ ඉවරයි. උඹට බීර එකක්වත් බොන්න වෙලා තියෙනවද?”

තිස්ස මා දිහාත් ගෙනා කඩදාසි මිටිය දිහාත් බැළුවා.

“පර්මිට් වලට බම්බු ගහගන්න කියලා යමු බීර එකක්… බීර තුන හතරක් … බොන්න!”

තිස්සගෙ ටිකක් වයස අම්මයි අප්පච්චියි දැන් පලාගොල්ල වතු වල රාජකාරි ගැන වැඩිය කාළය යොදන්නේ නැති බවත්, ඒ වෙනුවට වන්දනා ගමන්, සමිති සමාගම්වල වැඩ කටයුතු වලට වැඩිපුර කල් ගෙවන බවත් තිස්ස කිව්වේ එදා. දැන් ඒ කටයුතු වැඩිහරියක් කෙරෙන්නේ තිස්ස යටතේ. දෙමව්පියෝ ගිය අවුරුද්දේ නුවර ගෙදරකට පදිංචියට ආවට පස්සේ වත්තේ බංගලාවේ ඉන්නේ තිස්සයි පවුල ශ්රීමයි; දුවයි පුතයි බෝඩිමෙන් ගෙදර එන්නෙ ඉස්කෝලේ නිවාඩු කාලෙට විතරයි.

“ඇයි උඹයි වයිෆුයි එන්නෙ නැත්තේ වීකෙන්ඩ් එකකටවත්? උඹ දන්නවානේ ගෙදර ඕන තරම් ඉඩ තියෙනවා කියලා?”

මේක තිස්ස හමුවූ හැමදාම කරන ආරාධනයක්.

“ඇයි උඹලා නුවරඑලියෙ එන්නෙ නැත්තේ, වෙලාවක. එකට වෙවුලන්න පුළුවන්!”

ඒ මගේ සාමාන්ය ප්රතිචාරයයි.

අපි ඉස්කොලේ කාලේ ගැනත්, රස්සා ගැනත්, පවුල් ගැනත් කතාවෙන් සෑහෙන වෙලාවක් ගෙව්වා, බීර බිබී. අන්තිමට රෑට ගමේ යනවා වෙනුවට මම තිස්සලගෙ ගෙදර ගියා.

ඒ දැනට අවුරුදු දහයකට විතර ඉස්සර. සමාජ මාද්ය පාවිච්චියක් නැති නිසාදෝ අපි ඉන්පසු හමුවූවේවත් ලියුමක් හෝ ඊමේල් පනිවිඩයක් හුවමාරු කරගත්තෙ නෑ.

……………………….

“අපි නිකම්ම ඈත්වෙලා ගියේ කිසිම හේතුවක් නැතුව. හිතලා මතලා නෙවෙයි - කම්මැලි කමද කොහෙද!’

“ඔවු ඉතින් මං ඔයාගෙ ඉස්කෝලේ කාලේ යාළුවෝ දන්නෙ නෑ නේ. අවුරුදු තිහකට ඉස්සර මට ඉස්කෝලේ හිටපු යාළුවෝ කොහෙ ඉන්නවද කියලා මම දන්නෙම නෑ”

“මං හිතන්නේ අපෙ අන්තිම මීටිම ගැන ඔයාට කිව්වා - ඔයාට ගානක් නැතුව ඇති”

“අවුරුදු දහයක් ඉස්සර කතා තියා ගිය සතියේ දේවලුත් මට මතක නෑ!”

“ඒ වයසට”

අපි දෙන්නටම හිනා ගියා. තිලකා මට අවුරුදු පහක් බාලයි.

“ඔයා යාළුවට කතා කරන්නෙ නැද්ද? කොන්ග්රැචුලේශන්ස් කියන්ඩ?”

“හ්ම්… හිතලා බලලා… හෙට දිහාට කතා කරනවා… ගෙදර නොම්බරේ වෙනස්වෙලාද දන්නෙ නෑ; ඉන්ටනෙට් එකේ හොයාගන්න පුළුවන් වෙයි…”

මට ඉන්ටනෙට් එකේ තිස්සගෙ නොම්බරේ සොයා යන්න අව්ශ්යවුනේ නෑ. පරණ නොම්බරේ තවම වැඩ කරනවා. ටෙලිෆෝන් එක ගත්තේ තිස්ස නෙවෙයි.

“මිස්ට තිස්ස පලාගොල්ලට කතා කරන්න පුළුවන්ද?”

“පොඩ්ඩක් ඉන්ට මහත්තයා…”

මට යන්තම් ඇහෙනවා ටෙලිෆෝන් එක අතින් වහගෙන කතා කරන සද්දයක්.

“මේ කවුද කතා කරන්නෙ?”

“තිස්සගෙ පරණ යාළුවෙක් - නිමල් පෙරේරා”

තප්පර කීපෙකින් මට තිස්සගෙ කටහඬ ඇහුනා.

“නිමල්! මාරයි උඹෙ කටහඬ අහන්නත් - අම්මා අප්පච්චී කතා කරනවා වගේ!”

“උඹ කවද්ද රිසෙප්ශනිස්ට් කෙනෙක් ගත්තේ ටෙලිෆෝන් ආන්ස කරන්න?”

“රිසෙප්ශනිස්ට්? ආ… ඒ බංඩා, මගෙ කුක්”

“අමතක වෙන්න ඉස්සර - කොන්ග්රැචුලේශන්ස්, මහජන ආරක්ෂක වීරයානනි!”

බලාපොරොත්තු හිනාව ආවෙ නෑ.

“උඹටත් ආරංචියි! උඹ නම කිව්වෙ නැත්තං මම කතා කරන්නෙත් නෑ - රිපෝටර්ලා එනවා ප්රශ්න ලැයිස්තුත් අරගෙන! ඒකයි බංඩා රිසප්ශනිස්ට්!”

“සොරි… හැබැයි ඒක උංගෙ රස්සාව නේ. හැමදාම බයිසිකල් වීරයෝ හම්බවෙන්නෙ නෑ නේ?”

ආයෙත් පොඩි නිහඬක්.

“ඉස් එව්රිතිං ඕකේ, ටොයින්කා?”

“නෝ! එව්රිතිං ඉස් නොට් ඕකේ!”

කතාවේ සැරට මම සැලිලා ගියා. මේ මං දන්න තිස්ස නෙවෙයි.

“මොකද්ද ප්රශ්නේ? ගෙදර කරදරයක්ද?”

ආයෙත් සාමාන්ය තිස්සගෙ කටහඬින් උත්තරේ ආවේ.

“සොරි මචං… ගෙදර කරදරයක් නෑ, පාළුව හැර. පවුල ඔස්ට්රේලියාවේ ගියා මාස තුනකට; පුතයි දුවයි දෙන්නම එහෙ යුනිවසිටි වල… වැඩට ඉන්න අයයි මමයි විතරයි ගෙදර… කතාකරන්නත් රිපෝර්ටර් හැත්ත විතරයි!”

මම විනාඩි බාගයක් හිතුවා.

“පාළු ගෙදරටයි රිපෝටර්ලටයි බම්බු ගහගන්න කියලා දවස් කීපෙකටස් අපෙ ගෙදර වරෙන්කෝ. වැඩ පාළු වෙයිද එහෙම කළොත්?”

ඒ සැරේ තිස්සයි සද්ද නැතුව විනාඩියක් හිටියේ.

“ඒක උඹලට ප්රශ්නයක් වෙයිද?”

“පිස්සුද බං. උඹ කොහොමද ඔහෙන් ශේප් වෙලා එන්නේ?”

“නොට් අ ප්රොබ්ලම්! බංඩට පුළුවන් ජීප් එකේ මාව ගෙනත් දාන්න, අද රෑම වුනත්. චීෆ් ක්ලාක්ට පුළුවන් මෙහෙ වැඩ බලාගන්න. අනික, උඹලගෙ ගෙදර ආවොත් අම්මයි අප්පච්චියි එක්ක නවතින එකෙමුත් බේරෙන්න පුළුවන්… ඒ කියන්නේ බැනුම් අහන එකෙන්!”

“රයිට් - ලියාගනින් මගෙ ඇඩ්රස් එකයි ටෙලිෆෝන් නොම්බරෙයි… සී යූ ටුනයිට්!”

………………………….

තිස්ස ආවේ රෑ අටට විතර. ඔහු වහාම බංඩා ආපහු පිටත්කළේ පේරාදෙනිය පහුවෙනතුරු කොහෙවත් නොනවත්වන්නත්, තිස්සගෙ දෙමාපියනුත් අතුළු කිසිම කෙනෙක් සමග අද ගමන ගැන නොකියන ලෙස උපදෙස් සමගයි.

මම තිලකට තිස්සගේ මානසික අසහනය ගැන කිව්වේ අපේ ටෙලිෆෝන් සාකච්චාව අවසන්වූ වහාමයි. අපි තීරණයකළේ බයිසිකල් වීරයා මාතෘකාව තිස්සම මතුකළොත් මිස ඒ ගැන කිසිම දෙයක් නොඅසා ඉන්නයි. රෑ කෑමෙන් පසු තිලකා නිදිමත බව කියා කාමරයට ගියේ අපි දෙන්නට කතා කරගන්න ඉඩ දීලා බව අපිට වැටහුනා.

අපි ඉස්සරහ ඉස්තෝප්පුවේ වාඩිවුනේ උනුසුම් ඇඳුම් වලින් මෙන්ම උණු කෝපි කෝප්ප සහ සිසිල් අරක්කු වීදුරු වලිනුත් සැරසිලයි.

“ඊයේ මම බයිසිකලේ නුවර ආවේ ඇයි දන්නවද? අම්මයි අප්පච්චියිවත් ශ්රීමාවත් කැමති නෑ මම බයිසිකල් පදිනවට! නිතරම පදින්නෙ නැති නිසා ඩේන්ජරස් කියලා…. දැන් බලනකොට ඒක ඇත්ත වගේ… මං කියන්නේ මගෙ සුළු තුවාල ගැන නෙවෙයි…”

මම කතා නැතුව කෝපි උගුරක් බිව්වා.

“ඊයේ හවස පොලිසියේ පැය දෙකක් විතර හිටියා… ආයෙනම් මම කවදාවත් පොලිසියට බනින්නෙ නෑ මචං. මට රජ කෙනෙකුට වගේ සැලකුවා. තුන පහුවෙලත් දවල්ට කාලා නෑ කිව්වම ඉන්ස්පෙක්ටර් ලඟ තෝසේ කඩෙන් බෝන්ඩාල් ගෙන්නල දුන්නා - මම ඉල්ලපු නිසා. එයා ඉස්සරවෙලා ගියේ ලියොන්ස් එකෙන් පාර්සලයක් ගෙන්නන්න! පස්සේ වාහනේක මාව ගෙදර ගිහින් දැම්මා, රිපෝටර්ලා මගෑරලා”

අරක්කු උගුරයි, කෝපි උගුරයි.

“හැබැයි මගෙ නම ප්රසිද්ධ වුන වහාම ටෙලිෆෝන් කෝල් එන්න පටන්ගත්තේ… උඹ දන්නවා ඇතිනේ ටීවී, රේඩියෝ, පත්තර එහෙම ඕන කතාවක් දහයෙන් වැඩිකරලා පතුරුවන හැටි?.... එක බැල්ලිගෙ පුතෙක් මගෙන් ඇහුවා බයිසිකලේ නුවර ආවේ මෙහෙම යමක් සිද්ධවෙන බවක හෝඩුවාවක් ආරංචි වෙලාද කියලා! මොකද මම රහස් පොලිසියෙද? ත්රස්ථවාදියෙක්ද? … මම සේරටම කිව්වේ දැකපු කෙනෙක්ගෙන් අහගන්න කියලා!”

මම පළවෙනි සැරේට වචනයක් ඉදිරිපත් කළා.

“ශ්රීමටයි පොඩ්ඩන්ටයි කිව්වද? ඉන්ටනෙට් එකෙන් ආරන්චි වෙන්න ඉස්සර”

“අම්මයි අප්පච්චියි ඒවා කරලා මම ඊයේ ගෙදර එන්නත් ඉස්සර!”

මම ආයෙත් නිශ්ශබ්ද වුනා.

“තුන් දෙනාම අද පාන්දර කතා කරා - ඒ අයට උදේ, මට පාන්දර හතරට විතර! උදේ තේ බොනකොට කවුද දන්නවද කතා කරේ? අපෙ මංත්රී! අප්පච්චී ඌට කතා කරලා. ඌ අපෙ නෑයෙක් බව ඇත්ත හැබැයි… හැබැයි…”

“හැබැයි මොකද මචං?”

“ඒකා මගෙ නම යෝජනා කරන්න යනවා ජනාදිපතිගෙ ‘වීර ප්රපාත’ සම්මානෙට! නොදකින්!”

මේ වාග්ප්රහාරය මට තේරුම් ගන්න අමාරුයි. වීර ක්රියාවකට සම්මානයක් ලැබෙන එක වටිනා දෙයක් හැටියටයි මම දැක්කේ.

“හැබැයි ඒකෙන් මම ශේප්වුනා. අප්පච්චිට කිව්වේ ඔය සම්මාන ගැන ආයෙත් වචනයක් කාගෙන්වත් ඇහුනොත් මම මහන වෙනවා කියලා. ඉඩම්, බිස්නස් එහෙම අප්පච්චිටම බලාගන්න කියලා!”

මම කතාකලේ බොහොම හෙමින් සීරුවෙන්.

“මචං මට තේරෙන්නෙ නෑ…. සොරි… වීර වැඩකට සම්මාන ලබන්නේ කීප දෙනයි…”

පළවෙනි සරේට තිස්ස හඬනගා හිනාවුනා.

“මං කරපු ඇති වීර ක්රියාවක් නෑ බං!”

“මොනවා? උඹ එහෙනං මොනවටද වීර ක්රියා කියන්නේ?”

ඒ සැරේ තිස්ස මා දිහා බැළුවේ හිනා මුහුනින්. හිසේ පැටවූ ලොකූ බරක් බිම දමන්න ලෑස්ති කෙනෙක් වගේ.

“සම්මාන දෙන්න ඕන කෙසෙල් ඇවරියකට!”

“උඹෙ කතාව තෙර්රෙන්නෙ නෑ බං”

“මචං වුනේ මේකයි. මම බයිසිකලේ පැදගන එනකොට පාර මැද කෙසෙල් ඇවරියක්, ත්රී වීලර් එක්කින් වැටිලද කොහෙද. ඒක බස් එකකට අහුවෙලා චප්ප වෙලා. ඒක මගාරින්න ගියාම මට බයිසිකලේ වාවාගන්න බැරිවුනා. මම එන්ජින් රේස් කරේ ආයෙත් ඒක කොන්ට්රෝල් කරගන්න. නැහැදිච්චි බයිසිකලේ වේසරමා වගේ පැන්නා ඉස්සරහට, ඉස්සරහ රෝදෙත් උස්සගෙන. පේව්මන්ට් එකට පැනල කවුද එකෙකුත් හප්පාගෙන. සේරම වැවේ!”